- Monday, September 11, 2017

මහ වැසි මැද වන පියසට...



ඔබ අප කොයි කාටත් හොඳින් අසා පුරුදු සිංහරාජය කියන්නෙ ශ්‍රී ලංකා තරුණ ජීව වේදීන්ගේ සංගමයට නම් කොහෙත්ම ආගන්තුක තැනක් නෙවෙයි. සෑම වසරකම උසස් පෙළ නිමා කරපු සහෝදර සහෝදරියන් රැසක් එක්ක සිංහරාජයේ චාරිකාවක් යන්න ශ්‍රී ලංකා තරුණ ජීව වේදීන්ගේ සංගමය එනවා.
වෙනද වගේම මේ වතාවෙදිත් සිංහරාජ චාරිකාව යන්න පහුගිය අඟහරුවාදා උදේම සූදානම් වුනේ, පාන්දර ඉඳන්ම බොහොම තදට වැටෙන්න පටන් ගත්තු මහ වැස්ස නිසා ගමනේ මුහුණුවර කොයි වගේ වේවිද කියන දෙගිඩියාවත් හිතේ ඇතිවයි. ටිකක් පමා වෙලා වුනත් ගමන පටන්ගත්ත අපිට මග දිගටම අතරින් පතර වැටෙන වැස්ස කියා පෑවෙ ඉදිරියේ  මුහුණ දෙන්න වෙන අභියෝගාත්මක චාරිකාවෙ පෙර ලකුණු.
සිංහරාජයට ඇතුළු වෙන්න පිවිසුම් ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඔබ උතුරු දෙසින් හෝ බටහිර දෙසින් එන කෙනෙක් නම්, ඔබට රත්නපුර, කිරිඇල්ල, කලවාන, වැද්දාගල හරහාත්, දකුණු දෙසින් එන කෙනෙක් නම්, දෙනියාය ප්‍රදේශයෙනුත්, හම්බන්තොට උඩවලව දෙසින් එන කෙනෙක් නම් රක්වාන ප්‍රදේශයෙනුත් සිංහරාජයට පිවිසෙන්න පුලුවන්. මේ  අතරින් අපේ පිවිසුම් ස්ථානය වෙන්නෙ කුඩව පිවිසුම. මතුගම හරහා කලවානට ඇවිත්, එතනින් වැද්දාගල මාර්ගයේ කිලෝමීටර 6ක පමණ දුරක් ආවම කුඩව පිවිසුමට එන්න හැකියි.
සිංහරාජ වනාන්තරය, සබරගමුව සහ දකුණු පළාත් වල අක්කර 18900ක් පුරා පැතිරී තිබෙන, නිරිත දිග පහතරට නිවර්තන වැසි වනාන්තරයක්. උතුරු දෙසින් නාපොල දොළ සහ කොස්කුලන ගඟිනුත්, දකුණු දෙසින් මහ දොළ සහ ගිං ගඟිනුත්, බටහිරින් කලුකන්දාව ඇල සහ කුඩව ගඟිනුත්, නැගෙනහිරින් බෙවර්ලි තේ වතුයාය අසල පැරණි අඩි පාරකින් සහ දෙනුව කන්දෙන් මායිම් වෙලා තියෙන මේ අපූරු පරිසර පද්ධතිය, ශ්‍රී ලංකාවට ආවේණික බොහෝමයක් ශාක හා සතුන්ට නවාතැන් සපයන්නක්.
පක්ෂි විශේෂ  අතරින්, ගිරා මලිත්තා, අළු  කෑදැත්තා, වළි කුකුළා, අළු දෙමලිච්චා, අළු ගිරවා, හබන් කුකුළා, මයිලගොයා, බට ඇටි කුකුළා, වත රතු මල්කොහා, රන් නළල් කොට්ටෝරුවා, පරඬැල් කුරුල්ලා, සහ කැහි බෙල්ලා, වැනි විශේෂත්, සමනල විශේෂ අතරින්, නීල පළිඟු ගෝමරා, පළිඟු ගෝමරා, දෙහි නීලයා, සුලබ සෙරුලියා, දෙතිත් තෘණ පීතයා, පෙඳැති ජවසැරියා, රැවටිලි පැපිලියා, නීල පැපිලියා, සහ පැඟිරි පැපිලියා වැනි විශේෂත්, උභය ජීවී විශේෂ අතරින්, ගෙයි ගෙම්බා, උත්පතන මැඩියා, වෙල් මැඩියා, රන්වන් දිය මැඩියා, සහ සුලබ පඳුරු මැඩියා වැනි විශේෂත්, උරග විශේෂ අතරින්, පිනුම් කටුස්සා, පළා කටුස්සා, රළු අං කටුස්සා, වගේම ඇහැටුල්ලා, පළා පොළඟා, හෙනකඳයා, කුරු හාල් දණ්ඩා, කුණකටුවා, සහ අනෙකුත් සර්ප විශේෂත්, මත්ස්‍ය විශේෂ  ලෙස බුලත් හපයා, මගුරා, තල් කොස්සා, දංකොළ සාලයා, ගං තෙලියා වැනි විශේෂත්, ක්ෂීරපායින් අතරින්, අලු උණහපුලුවා, දිවියා, වැනි දුර්ලභ විශේෂ මෙන්ම, ශ්‍රී ලංකා කළු වඳුරා, ශ්‍රී ලංකා මූකලන් ලේනා, දඬු ලේනා, සහ හීන් හම්බාවා වැනි විශේෂත් සිංහරාජයේදී දකින්න පුලුවන්.
සිංහරාජයේ ශාක විශේෂ සලකා බලද්දි, නෙරූ ස්ථරය හොර, බූ හොර, තිනියදුන් යන ශාක වලිනුත් , වියන ස්ථරය නා, ඇටඹ, වල් දෙල් යන ශාක වලිනුත්, උප වියන ස්ථරය කිතුල්, දියපර වැනි ශාක වලිනුත්, යටි ශාක ස්ථරය බට, මා වේවැල් යන ශාක වලිනුත් සමන්විතයි. ආරෝහක ශාක ලෙස රසකිඳ, වේවැල්, වෙනිවැල් සහ පුස් වැල් ද, අපි ශාක විශේෂ සහ මීවන විශේෂ ගණනාවක් ම සිංහරාජයේ දකින්න හැකියි.
සිංහරාජ වනය තුළ, යෝධ නවඳ ගස, මුලාවැල්ල කන්ද, සිංහගල, පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස ප්‍රධාන ගමන් මාර්ග කීපයක්ම තිබෙනවා. මේ අතරින් මම ඇතුළු තවත් 15 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ගමන් කළේ මුලාවැල්ල ගමන් මාර්ගයේයි.
මුලාවැල්ල කියන්නේ මීටර 760ක් පමණ උස, සිංහරාජය ආශ්‍රිතව තියෙන තුන් වෙනියට උස කඳු මුදුන. මුලාවැල්ල ට යන්න, කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඉඳල කිලෝමීටර එක හමාරක් පමණ ගියාම එක් ගමන් මාර්ගයකුත්, එතැන ඉඳන් තවත් කිලෝමීටරක් විතර ගියාම හල්මංඩිය දොළ හරහා තවත් ගමන් මාර්ගයකුත් ලෙස මාර්ග දෙකක් තියෙනවා. මේ මාර්ග දෙකම කඳු මුදුන දක්වා ආසන්න වශයෙන් කිලෝමීටර 3.5 ත් 4ත් අතර දුරකින් යුක්තයි.
මුලින් කිව්ව වගේ එක දිගටම කඩාවැටුණු වැස්ස, වනාන්තරය තුළ තත්වය අභියෝගාත්මක එකක් බවට පත් කරලා. අඩි පාර දිගේ ගමන් කිරීම පවා වෙනදට වඩා වෙහෙසකර කාර්යයක් වුණා. එහෙම තියෙද්දි ගල් පේළි, ගස් වල දැඩි මුල්, සහ පොළව තදින් වැළඳගත් වැල් වලින්, සොබාදහම තමන්ට ඕනෑ හැටියට හදා තියෙන පාර දිගේ, මහ වැස්සෙම කන්දක් නැගීම!!! කතා දෙකක් නෑ අභියෝගයක්ම තමයි.එහෙම වුණත්, හුරු පුරුදු අපේ විතරක් නෙවෙයිගමනට එකතු වුණ කෝඩුකාර හිත්වලට පවා ගමන අත අරින්න අදහසක් නෑ.
කලින් කිවුව හල්මංඩිය දොළ ලඟට වෙනකම් තියෙන මාර්ගය ඒ තරම්ම කටුක නොවුනත් එතනින් එහාට නැග්ම පටන් ගන්න නිසා ගමන ටිකක් අපහසුයි. තැනින් තැනට, පිළිවෙලක් නැතුව තියෙන ගල් වලට පය තිය තියා, තමන්ට වඩා උස ගල් කුළු බදාගෙන, දණගාමින් බඩගාමින් ඒවා මතට නැගගෙන, කොළරොඩු යටින් වතුර පාරට මඩ වුණු පොළවත් එක්ක ඔට්ටු වෙවී, අඩියක් ඉහලට තියද්දි, අඩි දෙකක් පහලට රූටා වැටෙන මග දිගේ, වැස්සෙන් පහළට ගලාගෙන එන ජල කඳට එරෙහිව ඉහලට නගින එක සෙල්ලමක් නම් නෙවෙයි. පියවර තබන තැන ගැන තබා, තමන් ගැන තිබෙන විශ්වාසය පවා ප්‍රමාණවත් නොවුණු අවිනිශ්චිත නිමේශයන් අපමණයි. පුංචි අතපසුවීමක් කියන්නෙ, දරුණු අනතුරක්!!! මේ සේරම වැස්ස නිසා විතරමයි. කාලගුණයේ පොඩි වෙනසකින් ගමනේ මුහුණුවර වෙනස් කළ තරම!!! වෙනදා තුරුගොමුවේ හැංගිමුත්තන්  කරන කුරුළු කිරිල්ලියන් හොයමින්, එකිනෙකට වෙනස් වන මල් වල අසිරිය බලමින් හෙමින් සීරුවේ ඉහලට ඇදෙන ගමන, මෙදා පේන තෙක් මානයක කිසිම සතෙකුවත් නැතිව, මහ සද්දෙට චිරි චිරි හඬින් තුරුපත් මතින් බිම වැටෙන වැහි බිංදු වල දෝංකාරය විතරක් ඇහෙන, ඒ අන්ධකාරය මැද හෙමින් සීරුවට යන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ. එන්න එන්නම නරක අතට හැරෙන වැස්සත්, ඉහලින් පාවෙලා ආපු මීදුමත් එක්ක අපි හැමෝටම පුලුවන් ඉක්මනින් කඳු මුදුනට ළඟා වෙන්නයි අවැසි වුණේ.
කඳු මුදුන එහෙම පිටින්ම බෑවුම සහිත ගල් තලාවක්. දෙපා වලින් පමණක් නම් මුදුනට ළඟා වෙන්න බැහැ.ආයාසයෙන් නමුත් නිරුපද්‍රිත ව අපි හැමෝම මුදුනට ළඟා වූ බව කිව යුතුයි. අහස් මායිම වෙනකන් නැගුණු සුවිශාල ගස්වැල් මුකුත් නැති නිසා කඳු මුදුන එළියයි. ඒ වුනත් පහළ ප්‍රපාතයවත් නොපෙනෙන තරමට, ගනකම් තිරකඩක් එලූ ගානට, මිදී ගිය මීදුම නිසා අවට කිසිම දෙයක් දකින්න ලැබුණෙ නම් නෑ. නමුත් වෙනද නම් උතුරු පැත්තෙන් සමනල කඳු පෙළත්, හෝර්ටන් තැන්නත් එක්ක මධ්‍යම කඳුකරයත්, දකුණු පැත්තෙන් දෙනියාය නගරයත් අපූරුවට මුලාවැල්ල මුදුනට පෙනෙන බව තමයි අපිත් එක්ක ආපු මගපෙන්වන්නා කීවෙ. 
මේ තරම් වෙලාවක් වැහි කබා අතරෙ සඟවගෙන, අසීරුවෙන් වැහි දියට තෙමෙන්න නොදී, බොහොම පරිස්සම් කළ " තෙවෙනි ඇස් " පුලුවන් තරම් මුවාවෙලා ඇසිපිය ඇරියෙ ඒ මොහොතෙ තමයි. කොයිතරම් වැස්සත්, මුදුනටම ඇවිත් සේයාරුවක් නොගෙන ආපහු යන්නෙ කොහොමද. පරිසරයේ නම් කිසිම අනුකම්පාවක් තිබුනෙ නෑ. හුළඟ පවා, ගෙනාපු තෙතමනයේ බරත් අපිටම පවරල, ඈතට ඉගිලිලා ගියා.
නිවාගන්න තරම් වෙහෙසක් තිබුණෙ නැති නිසාත්, අඳුරට කලින් වනගැබට අඳුර වැටෙන බව  සිහි වුණ නිසාත්, අපි ඉක්මනින්ම ආපහු එන්න පිටත් වුණා. සමබරතාවය රැකගෙන, නොවැටී ආපහු පහළට බහින එක නගිනවාටත් වඩා අමාරුයි. සීරුවට කීකරුව පය තැබිය යුතුයි. ගමනේ වේගය අඩාල වීම නිසා, සිරුර උණුසුම් වෙනවාට වඩා වැඩි වේගයෙන් අවට සීතල නහර ඇතුලටම කිමිදිලා අපව හිරිවැට්ටුවා. කොහොම නමුත් ආපු පාර දිගේම අපි හැම කෙනෙක්ම මුලාවැල්ල ට සමු දීලා හිමින් සීරුවේ ගමන නිමා කළා.

අනෙක් ගමන් මාර්ග වල ගමන් කළ කණ්ඩායම් වල අය අපිට කළින්ම කුඩව පිවිසුම අසලට ඇවිත් තිබුනා. කුඩව පිවිසුමෙන් සිංහරාජ වන නිවහන වෙත ආපු අපිවැස්සෙන් කොයිතරම් තෙත බරිත වෙලා හිටියත් පහලින් ගලාගෙන ගිය දියපාරෙ එබෙන්නට තිබුණු ආසාව නම් යටපත් කරගත්තෙ නෑ. අවසානයේ  සිංහරාජය ට ආයුබෝවන් කියල ආපහු එන අත‍රමගදිත් කට්ටියට කිසිම වෙහෙසක් නොතිබුණු බව විශ්වාස කරන්න නම්ඔවුන් ආරම්භයේ පටන් අවසානය වෙන තෙක්මමුලු ගමනම ගීතවත් කළ අපූරුව දකින්නම ඕන. දවස පුරාම අපව තෙතබරිත කළ වැස්ස සීතල වුණත්එය අපට දායාද කළ අත්දැකීමහදවතේ ඉතිරි කර තිබුණෙ උණුසුම් හැඟීමක්...!!!