- Thursday, August 03, 2017

සිංහරාජය - ජෛව විවිධත්ව වැඩමුළුව

බොහොම කාලයකින් ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමයේ බ්ලොග් පිටුවට මේ විදියට ලිපියක් එක් කරන්නෙ, සටහනක් නොතබා මග අරින්නට හිත් නොදෙන යමක් ලියා තබන්නයි. නොයෙකුත් වැඩ රාජකාරි අතර මේ විදියට සටහන් කළ යුතුව තිබූ බොහෝ දේ මග හැරී ගියත්, සහ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියල තිබුණත්, Better late, than never ” කියලත් කියන නිසාම, පසුගිය අප්‍රේල් මාසයේ දී  ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය විසින් සංවිධාන කළ ජෛව විවිධත්ව වැඩමුළුව ගැන ලියා තබන්නෙ, මෙම වැඩමුළු මාලාවේ දෙවැන්න - මිරිදිය ජෛව විවිධත්ව වැඩමුළුවට ඹන්න මෙන්න කියා දින තිබෙද්දියි. ඒ ගැන ඔබට කියන්න මේ තරම් ප්‍රමාද නොකරන බවට පොරොන්දුවක් දෙමින් ම හැරෙමු අපේ වැඩමුළුවේ ටීකාව දිහාවට. 



20 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන්, තුන් දින වැඩමුළුවක් ලෙස පවත්වන්නට යෙදුණු මේ වැඩමුළුව පවත්වන්නට තෝරාගෙන තිබුණෙ සිංහරාජ වන පියසයි. 8 වැනි සෙනසුරාදා සවස් යාමයේ ගමන පිටත් වුණ අපිට, සැලසුම් කළ විදියට සවස 6.00 ට කළින් සිංහරාජ පිවිසුම වෙත ළඟාවෙන්න බැරි වුණ නිසා, සංරක්ෂණ මධ්‍යස්ථානය අසල තිබුණු අපේ නවාතැන්පළ වෙත යන්න කැලය තුළින් වැටී තිබුණ කිලෝමීටර 2ක පමණ මාර්ගය වෙනුවට, කැලය වටා පිහිටි කඳු ගැටය මතින් වැටී තිබුණු කිලෝමීටර 6ක පමණ මාර්ගයේ ගමන් ගන්න සිදුවුණා. මුලදී හැම දෙනාම එකම කණ්ඩායමක් ලෙස ගමන් කළත්, ගෙන යන්නට තිබූ බඩු බාහිරාදියත් එක්ක ගමනේ වේගය අඩාල වීම නිසා, අවසානයටම අපේ පිරිසේ ඉතිරි වුණේ සත් දෙනෙකු පමණයි. කඳු පාර දිගේ තැනින් තැන නිවාස පිහිටා තිබුණු, පුංචි ගමක් වුණත්, ඉදිරියට යද්දි මග අසාගන්නට වත් කවුරුත් නොසිටි කැලෑ මගක තමයි ගමන් ගන්න සිදුවුණේ. මග දෙපස උස්ව වැඩුණු පයින් ගස් නිසා, අදුර එන්නටත් කළින් අඳුරු වූ මග දිගේ හරිහැටි මගවත් නොදැන, පාර පුරා විසිරුණු කූඩැල්ලන්ගේ ප්‍රහාරත්, ගමන් මලු සහ බඩුබාහිරාදියේ බරත් වෙහෙසත් එක්ක, දෙගිඩියාවෙන් ඉදිරියට පියවර තැබූ අපට මග එළිය කරන්නට තිබුණේ විදුලි පන්දම් දෙකකුත්, හඳ එළියත් පමණයි. කොහොමින් හරි මග ගෙවාගෙන රාත්‍රී 9.00 ට පමණ නවාතැන්පළ වෙත ළගාවෙද්දි අපි හිටියෙ හොඳටම හෙම්බත් වෙලයි.


රාත්‍රී ආහාරය ඉක්මනින්ම ලබාගෙන හැමදෙනාම ආලින්දයේ හරිබරි ගැහුණෙ වැඩ පටන් ගන්නයි. අපේ සම්පත් දායකයින් වූ ආචාර්ය සම්පත් වාහල මහත්මයත්, සලින්ද්‍ර කසුන් මහත්මයත්, අමිල සුමනපාල මහත්මයත්, අපි සියළු දෙනාමත් එකිනෙකා හඳුනාගැනීමෙන් පසුව එළඹුණේ වැඩමුළුවේ පළමු දේශනය සඳහා අවස්ථාවයි. සිංහරාජයේ නොදත් ඉතිහාසය, ද්වීතියික වනාන්තරයක් ලෙස වර්ධනය වීම, දැව සඳහා යොදා ගැනීම, සහ ශ්‍රී ලංකාවේ වන ඝනත්වය, වනාන්තර වල ස්ථර, විශේෂ විවිධත්වය හා ක්ෂේත්‍ර සටහන් තැබීම යන කරුණු හඳුන්වා දීමට වෙන් වූ පළමු දේශනයෙන් පසුව අළුයම 2.00ට පමණ සීතලම සීතල වතුරින් ගතේ විඩාව නිවාගෙන හැමදෙනාම නින්දට වැටුණා.


පසුදා උදෑසන 6.00 ට පමණ ක්ෂේත්‍ර සටහන් තැබීම පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකමක නිරත වූ අපි, පක්ෂි නිරීක්ෂණයේ සහ විවිධ පක්ෂින්ගේ නාදයන් හඳුනාගැනීමෙහි යෙදෙන්නට වුණා. උදෑසන ආහාරය ලබාගැනීමෙන් පසුව සිංහරාජ පර්යේෂණ මධ්‍යස්ථානය දක්වා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින්, විවිධ සතුන්ගේ හා ශාක වල ක්ෂේත්‍ර සටහන් ලබාගැනීම ද සිදු කළා. දිවා ආහාරයෙන් පසුව, මූලික දත්ත එක්රැස්කිරීම, Point counts, Line transects යන ක්ෂෙත්‍ර අධ්‍යයන ශිල්ප ක්‍රම සහ පක්ෂි සමූහ (Bird Flocks) පිළිබඳව දේශන වලට සවන් දී, පක්ෂි නියැදීමේ (Bird Sampling- Point count) ක්‍රියාකාරකමක යෙදෙන්නට ද අපට හැකි වුණා. සවස් යාමයේ දී, බඩුබාහිරාදියත් රැගෙන එදා දවසේ අපේ නවාතැන වූ සිංහරාජ වන නිවහන වෙත ආ අපි, උභය ජීවි විශේෂ වල රාත්‍රී නියැදීමේ (Night sampling) ක්ෂේත්‍ර ක්‍රියාකාරකමක නිරත වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජෛව භු විද්‍යාව පිළිබඳ දේශනයකට සහභාගී වී දවසේ වැඩ කටයුතු නිමා කළා.


        
වැඩමුළුවේ අවසන් දිනය අරඹමින්, උදෑසන තේ පානය කළ අපි පසුව සිංහරාජය ගම්මානයේ පක්ෂි නියැදීමේ (Bird Sampling) සහ Line transects යන ක්ෂෙත්‍ර අධ්‍යයන ශිල්ප ක්‍රමය යොදා ගනිමින් දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාකාරකමක නිරත වුණා. උදෑසන ආහාරය ගෙන, දත්ත කිටුකරණය (Data Pooling), දත්ත  විශ්ලේෂණය සහ ජෛව අනුකරණය (Bio mimicry) පිළිබඳව දේශන දෙකකට සවන් දී ඉන්පසුව වන නිවහන අසළ දිය පහරේ මිරිදිය මත්ස්‍ය ජෛව විවිධත්වය අධ්‍යයනය කළ අපි අවස්ථාව ලද විගස දිය පහරේ දිය කෙළින්නටත් අමතක කලේ නැහැ. 




දිවා ආහාරය රැගෙන වැඩමුළුව අවසන් කිරීමට මත්තෙන්, එතෙක් ලද අත්දැකීම් සහ උගත් දේ පිළිබඳව සමාලෝචනයක යෙදෙමින්, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, පර්යේෂණයන්හි නිරත වීම, විවිධ ප්‍රකාශන කියවීම, දත්ත රැස්කිරීම ආදී කී නොකී බොහෝ දෑ පිළිබව අරුත්බර සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව වැඩමුළුව නිමා කළ අපි නැවත එන්නට පිටත් වුණා. 


වචනයෙන් මෙසේ සටහන් කළත්, වචනයෙන් කෙසේවත් විස්තර කළ නොහැකි සුන්දර අත්දැකීම් රාශියක් අප සියලු දෙනාටම ලැබුණු බවට, වැඩමුළුවට සහභාගී වූ ඔවුන් සාක්ෂ්‍ය දරාවි!. ඉතින් මේ ආරාධනය ඹබට.. එන්න, අපේ මීළඟ වැඩමුළුවට... ඇවිත් ඔබම අත්විඳින්න.. ඒ අත්දැකීම, පෙරටත් වඩා සුන්දරව.. එක්වෙන්න.. තරුණ ජීවවේදීන් සමග...



ඡායාරූප අනුග්‍රහය  - ආචාර්ය සම්පත් වාහල, දුෂාන් මුතුනායක, පුමුදි ගාර්ඩියවසම්.