- Thursday, September 11, 2014

“ උසස් පෙළ විභාගයෙන් පසුව පිවිසිය හැකි උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීයමය අවස්ථා පිළිබඳ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වාර්ෂික සම්මන්ත්‍රණය මෙවරත්! ”

            උසස් පෙළ විභාගයෙන් පසුව පිවිසිය හැකි උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීයමය අවස්ථා පිළිබඳ ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වාර්ෂික සම්මන්ත්‍රණය මෙවරත් ,  උසස් පෙළින් පසු නමින්, සැප්තැම්බර් මස 02 වන දින, ප.ව. 3.00 ට ,කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 2014 වර්ෂයේ, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කර ගනිමින්, රටෙහි ශ්‍රම බලකාය තුළ වත්මන් තරුණ ප්‍රජාවේ කාර්යභාරය අවබෝධ කර දීමේ අරමුණින්, මෙම සම්මන්ත්‍රණය  පවත්වන ලදි.


 මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන්,  ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය, www.studentlanka.com වෙබ් අඩවිය සමග එක්ව සංවිධානය කරනු ලැබූ, මෙම සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමයේ අනුශාසකතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුලපති,  මහාචාර්ය කොලින් පීරිස් මහතා, මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ, මහාචාරිනී ශ්‍රියානි පීරිස් මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ගාමිණී විජේරත්න මහතා යන මහත්ම මහත්මීහු දේශන පැවැත්වූහ.


මෙහිදී, ආරම්භක දේශනය පවත්වමින්, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, උසස් පෙළින් පසුව තරුණ ප්‍රජාවට පිවිසිය හැකි උසස් අධ්‍යාපන අවස්ථා, මෘදු කුසලතා, වෘත්තීයමය අධ්‍යාපනය, විදේශ අධ්‍යාපනය, ආදී විවිධ ක්ෂේත්‍ර 12 ක් ඔස්සේ කරුණු පළ කළේය.
වර්තමානයෙහි උසස් පෙළ නිමවීමෙන් අනතුරුව, උසස් අධ්‍යාපනය හෝ වෘත්තිය අවස්ථා සඳහා සිසුන් විදේශ ගත වීමට වැඩි කැමැත්තක් දක්වයි. සංවර්ධිත රටවල පවතින, උසස් ජීවන තත්වය, වෘත්තීයමය විවිධත්වය, පුළුල් අධ්‍යාපන අවස්ථා, සහ පුළුල් ව ව්‍යාප්ත වී පවතින රැකියා වෙළඳපොළ, මීට හේතු  ලෙස දැක්විය හැකිය. එනමුත් ඒ පිළිබඳව නිසි අවබෝධයකින් හා මනා සැලැස්මකින් තොරව විදේශ ගත වන සිසුන්, ඇතැම් විට විවිධ දුෂ්කරතාවන්ට හා  අපහසුතාවන්ට මුහුණ දෙන ආකාරය දැකිය හැකිය. එලෙස විදේශ අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමේ දී, සහ විදෙස් විශ්වවිද්‍යාල තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව ද මෙහි දී මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පැහැදිලි කර දෙන ලදි.


එහිදී ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ, නැවත දෙවැනි, තුන්වැනි වරටත් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වැදගත්කම මෙන්ම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධි පාඨමාලාවකට ඇතුලත් වීම සඳහා වරම් ලැබීමේ වැදගත්කම  අවධාරණය කළ එතුමා, වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමක් ලෙස, ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ කුසලතා, ආදී මෘදු කුසලතා තමන් තුළ වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, වත්මන් තරුණ පරපුර, නූතන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මහිමය, සහජයෙන් උරුම කරගත් පරපුරක් ලෙස, සිය අමතර කාලය ප්‍රයෝජනවත් පරිදි යොදාගනිමින්, මාර්ගගත උපාධි පාඨමාලා (online degrees) හැදෑරීමට සපයා ඇති ඉඩ ප්‍රස්තාවන් පිළිබඳව, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පෙන්වා දුන්නේය.
සිය නිර්මාණශීලීත්වය, දැනුම, හා කුසලතා අනුව තෝරාගත හැකි විවිධ ක්ෂේත්‍ර රැසක් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, බැංකුකරණය, ව්‍යාපාර කළමණාකරණය, ජන සන්නිවේදනය හා මාධ්‍යකරණය, ඉංජිනේරු විද්‍යාව, ජෛවීය විද්‍යාව, ඖෂධ විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, පරිගණක විද්‍යාව, ආදී බොහෝ ක්ෂේත්‍ර වල පවතින උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අවස්ථා ද, ඒවා සපුරාගත හැකි ආයතන පිළිබඳවද, ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළේය.


උසස් පෙළ  විභාගයට මුහුණ දීමෙන් අනතුරුව, පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන පාඨමාලා සහ ඒ සඳහා සුදුසු ආයතන ‍තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු යන තේමාව ඔස්සේ, මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුලපති,  මහාචාර්ය කොලින් පීරිස් මහතා සිය දේශනය මෙහෙයවීය. විශේෂයෙන් ම, අධ්‍යාපනය ලැබීම සඳහා යම් ආයතනයක පාඨමාලාවකට අදාලව වැය කළ යුතු මුදල, කාල සීමාව, දේශියව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද එයට ඇති පිළිගැනීම සහ ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන ආයතන නියාමනයේ යෙදෙන, ප්‍රමුඛතම ආයතනය වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිර්දේශිත ආයතනයක් ද යනාදී කරුණු පිළිබඳව නිසි අවබෝධයක් ලබා තිබීමේ වැදගත්කම ඒ මහතා පෙන්වා දුන්නේය. තරගකාරීත්වය සහ නිර්මාණශීලීත්වය තුළ, තමාට හිමි නිසි ඇගයීම හිමිවන පරිදි, සිය පෞරුෂත්වය සංවර්ධනය කරගත යුත්තේ කෙසේද යන්න පහදා දීම, එම දේශනයේ මූලික අරමුණ විය.


දැනුම ලබාගැනීමේ අවසන් අරමුණ වන්නේ, ඵලදායී ලෙස දැනුම යෙදවිය හැකි වීමයි. වර්තමානය තුළ සීඝ්‍රෙයන් වර්ධනය වූ, නව ප්‍රවණතා රැසක් ඇති කරමින්, කාලීනව ලොව මහත් කැළඹීම් ඇති කිරිමට සමත් වූ ක්ෂේත්‍රයත් වන, ජෛව වෛද්‍ය විද්‍යාව ( Biomedical Science ) නමැති ව්‍යවහාරික විද්‍යා විෂය පිළිබඳව, මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ, මහාචාරිනී ශ්‍රියානි පීරිස් මහත්මිය මෙහි දී දේශනයක් පැවැත්වූවාය.  මෙම විෂය තුල මූලික යෙදීම් වන ස්වභාවික විද්‍යාව, සහ ජෛව තොරතුරු තාක්ෂණය යන සිද්ධාන්ත මගින් ජාන තාක්ෂණය, සායනික වෛරස අධ්‍යයන විද්‍යාව, සායනික වසංගතවේදය යන අංශ වලට සැපයිය හැකි දායකත්වය පිළිබඳවත් දැනටත් ශ්‍රී ලංකාව තුළ මෙම විෂය පදනම් කරගනිමින් දියත් කර ඇති විවිධ ව්‍යාපෘති පිළිබඳවත්, රැස්ව සිටි පිරිස දැනුවත් කළ එතුමිය, ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට මෙම ජෛව වෛද්‍ය විද්‍යාව හැදෑරීම තුළින් තම රට තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද, උදා කරගත හැකි රැකියා අවස්ථාවන් මොනවාද යන්න හඳුන්වා දුන්නාය.

 වර්තමානයේදී දැඩි ඉල්ලුමක් මෙන්ම, දැඩි තරගකාරී ස්වභාවයක් පවතින ක්ෂේත්‍රයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දිය හැකිය. දිනෙන් දින සීමා නිම් වළලු පුළුල් වන මෙම ක්ෂේත්‍රය තුළ, ශ්‍රී ලංකාව, ඊට හිමි ස්ථානය, තවමත් සොයමින් සිටී.
එවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පිවිසිය හැකි විවිධ මංමාවත් මොනවාද යන්නත්, එහිදී ජයගැනීමට සිදුවන අභියෝග මොනවාද යන්නත්, අනාගතයට ආයෝජනයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ අධ්‍යාපන හා වෘත්තීය අවස්ථාවන් තෝරා ගැනීම සුදුසු වන්නේ කුමක් නිසාද යන්නත් පිළිබඳ ව, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ගාමිණී විජේරත්න මහතා, සිය දේශනයේ දී කරුණු පැහැදිලි කළේ ය. විශේෂයෙන් ම මෘදුකාංග පිරිසැලසුම්කරණය ( Software designing) නම් විෂය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඒ මහතා පවසා සිටියේ, නූතන ලෝකයේ තොරතුරු තාක්ෂණ රැකියා වෙළඳපොළ තුළ, රැකියා වැඩිම ප්‍රමාණයක් පදනම් වී ඇත්තේ පරිඝණක වැඩසටහන්කරණය ( Computer Programming ) සහ මෘදුකාංග පිරිසැලසුම්කරණය ( Software Designing) යන ක්ෂේත්‍ර ඔස්සේ බවයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අති දැවැන්ත චරිත ගණනාවක් සිහිපත් කළ, ආචාර්ය ගාමිණී විජේරත්න මහතා, එම දැවැන්තයින් අතර ඊළඟ පරපුර, ශ්‍රී ලංකාවෙන් බිහිවිය යුතු බව පැවසීය. ඒ සඳහා පුරෝගාමී පියවර තබමින් මාලබේ හොරයිසන් උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ආරම්භ කිරීමට නියමිත, මෘදුකාංග පිරිසැලසුම්කරණ ( Software Designing) අංශය පිළිබඳවත්, එයින් ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෘදුකාංග පිරිසැලසුම්කරණය ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා,  උදා කරගත හැකි අවස්ථා පිළිබඳවත් සිය දේශනයේ දී, ඒ මහතා  සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය.


 මෙම සම්මන්ත්‍රණයේ අරමුණු පැහැදිලි කරමින් මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, වර්තමානයේ, උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව, තමන්ගේ ඉදිරි අනාගතය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර සහ ජීවන වෘත්තීන් තෝරාගැනීම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක්, වත්මන් තරැණ පරපුර සතුව නොමැති බවත්, එම නිසාම ඔවුන් සිය කාලය, ශ්‍රමය හා ධනය අනවශ්‍ය ලෙස වැය කරමින්, විවිධ දේ පසුපස හඹායෑමෙන් අපහසුතාවයට පත් වන බවත් ය. ඒ සඳහා නිසි මාර්ගෝපදේශනය සපයන වැඩසටහන් ක්‍රියාත්මක වීම අවම මට්ටමක පවතින බව පැවසූ එතුමා, මෙම සම්මන්ත්‍රණය මගින් එම අඩුපාඩුව, යම් තරමකට හෝ සපුරනු ඇති බව තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.