- Monday, May 05, 2014

ශ්‍රී පාදස්ථානය ක්ෂේත්‍ර චාරිකාව සහ පිරිසිඳු කිරිමේ ව්‍යාපෘතිය 2014.

             අලුත් අවුරුදු සිරියෙන් නැවුම් වූ, තරුණ ජීව වේදීන්ගේ සිත් සතන් වලට, අප්‍රේල් 19 වන ශනි දිනට හිරු උදා වුයේ, බැතිබර අධිෂ්ඨානයක උද්‍යෝගය සමීප කරවමිනු යි. හා හා පුරා කියා නව වසරේ ප්‍රථම ව්‍යාපෘතිය ලෙස දියත් කරන්නට යෙදුණු ශ්‍රී පාදස්ථානය පිරිසිඳු කිරිමේ ව්‍යාපෘතියට, Leo – Club of Colombo Knights හි සාමාජික සොයුරු සොයුරියන් ද අප සමග එක් වී සිටියා. හිරු අවදිවී මඳ වේලාවකින්ම නුගේගොඩ නගරයෙන් ගමන් ඇරඹු අපේ කණ්ඩායමේ, ශ්‍රී පාද වන්දනාවට කෝඩුකාරයන් වූ කිහිප දෙනෙකුම ඇතුලත්ව සිටීම විශේෂයි. පැය කිහිපයක ගමනින් පසු, පලාබැද්දල ප්‍රදේශයෙන් ශ්‍රී පාද පිවිසුමට ළඟා වු අපට, සිරි පා කරුණාවේ ඇති වත් පිළිවෙත් ආදිය පිළිබඳව ශ්‍රී ලංකා තරුණ ජීව වේදීන්ගේ සංගමයේ සභාපතිතුමා විසින් සිහිපත් කරදීමෙන් අනතුරුව ඉතිරි වී තිබුණේ, තුනුරුවනින් අවසර ගෙන, සිරි පා කරුණාව ආරම්භ කිරීමට පමණයි. මෙම ව්‍යාපෘතිය, පළමු දිනය ක්ෂේත්‍ර චාරිකාව සහ සිරි පා වන්දනාව සදහාත්, දෙවන දිනය ශ්‍රී පාද අඩවිය පිරිසිඳු කිරිම සඳහාත් ලෙස වෙන් වුණු, දෙදින ව්‍යාපෘතියක් ලෙස සංවිධානය වුවක්.


            ඒ ලෙසට හිරු මුදුන් වීමට ආසන්න පැයේ දී, තුනුරුවනින් මෙන්ම සමන් දිව්‍යරාජයාගෙන් ද අවසර රැගෙන, අපේ කණ්ඩායම සිරි පා කරුණාව ආරම්භ කළා. මෙහි දී කෝඩුකාරයින් වෙනුවෙන් ඉටු කළ යුතු වත් පිලිවෙත් සියල්ලම ඉටු කිරීමට, මීට පෙර ශ්‍රී පාදය කරුණා කර තිබෙන අපේ සොයුරු සොයුරියන්, කෝඩුකාර අපට මඟ පෙන්නුවේ සෙනෙහසින්.
            පළමු දිනය වෙන් වුණේ, ශ්‍රී පාද අඩවියේ සුන්දර ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවටයි. වෙනත් ක්ෂේත්‍ර චාරිකා වල දී අතොරක් නැති කතා බහෙන් පිරිස උද්දාමයට පත් කළ අය, මෙදින වෙහෙස වුයේ සමන් දිව්‍ය අඩවියේ උදහසට ලක් නොවී, වදන් සංයමයෙන් යුතුව කතා බහ කරන්නටයි. නමුත් ගමනේ උද්‍යෝගය මදකින් හෝ අඩු කිරීමට එයට හැකිවුණේ නැහැ.


            ශ්‍රී පාද අඩවිය, එයටම ආවේණික වූ, විවිධාකාරයෙන් විචිත්‍ර, ජීවයෙන් පිරී ගිය පාරාදීසයක්. සිරි පා මග ඔස්සේ ඉහළටම ඇදී තිබුණේ පහසු මගක් නොවුනත්, අතරමග දී හමු වූ, මලින් පිරි ඕකිඩ් විශේෂ, විවිධ යටි වියන ස්ථරයේ ශාක, ව්ව්ධ මැඬි විශේෂ, පක්ෂි විශේෂ, උරග විශේෂ ආදී ජීවීන්ගේ විවිධත්වය මෙන්ම,  එහි පවතින සුවදායක දේශගුණයත්, ගමනේ විඩාව සංසිඳවන්නට සමත් වුණා. විශේෂයෙන්ම සිරි පා කරුණාවට වගේම, ඡායාරූපකරණයටත් කෝඩුකාර වූ අපට, මේ ක්ෂේත්‍ර චාරිකාව වටිනා අත්දැකීම් රැසක එකතුවක්. සෙමෙන් සෙමෙන්, හෝරා කිහිපයක් තිස්සේම, ගෙත්තම්පාන, ඉඳිකටුපාන, සීත ගඟුල ඔස්සේ ඉහළට පියවර මැන යන අතරතුර, විදුලි ආලෝකයෙන් එළිය වූ මෙන්ම,  විදුලි ආලෝකයෙන් තොර, දැඩි සේ අඳුරු, විදුලි පන්දම් ආලෝකයෙන් ඉදිරිය දකිමින් ගමන් කළ යුතු පෙදෙස් ද හමුවුණා.




            ගමනේ විඩාවත්, දැඩි අඳුර සිතට ගෙනා චකිතයත් සමග ගිමන් හරින්නට සිතූ අප, අසල තිබූ ගල් තලාවක් මත මොහොතකට වැතිරුණේ, ඉබේටම වාගේ. ඒ මොහොතේ දෑස් වලට හසු වූ, ඈත ඉහළින්, ඝණ්ඨා නාදය හැඬවෙන උඩ මළුවේ දැල්වෙන ආලෝක එළි වලට පසුබිම්ව, තරු ඉහිරී හාත්පස එළිය වූ රාත්‍රී අහසෙහි දසුන, අපේ සිත් වලට ගෙන ආවේ, දෑස් වලට කැමරා කාච බවට පත්විය හැකි නම් යන සිතුවිල්ල යැයි කීම, අතිශයෝක්තියක් නොවේ. සැබවින්ම දෑස් මානයට මෙතරම් සමීපව, එතරම් ම සොඳුරු ලෙස, තාරකාවන්ගෙන් විහිදෙන මන්දාලෝකය, මීට පෙර අත්නොවිඳි නැවුම් බවකින් යුතුව, අපේ නෙත් වලට හසුවුණේ, අපූර්ව ආනන්දනීය හැඟුමක් සිත් තුළ පුබුදු කරවමිනුයි. අත්හැර එන්නට අපහසු වූ නිමේෂයක්!


            හෝරා ගණනක් පුරා, සෙමෙන් ගෙවා දැමූ ඒ ක්ෂේත්‍ර චාරිකාව නිමා කරමින්, හැරමිටිපාන ආසන්නයේ ගිමන් හලක පැය කිහිපයක් විඩා නිවාගත් අපි, අලුයම 2.30 ට පමණ උඩ මළුව කරුණා කිරීමට ගමන් ඇරඹුවේ, ශ්‍රී පාද කරුණාවේ අත්දැකීම උත්කර්ෂයට ගෙන එන, ඉර සේවය දැකගැනීමේ අභිලාෂයෙන්. උඩ මළුවට ළඟා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වූ අපේ කණ්ඩායම, මහගිරිදඹය වැනි අපහසු කඩයිම් හමුවේ, එකිනෙකා හට සහයෝගය ලබා දෙමින් ගමන් කල ආකාරය, අප අතර පැවති මිත්‍රත්වය, සහෝදරත්වය, හා එකමුතු බව ඉහළින්ම ප්‍රකට කළා.  
            සිරි පා මළුව කරුණා කිරීමට පැමිණ සිටි දහස් ගණනක් වූ බැතිමතුන් ගේ මුවින් නිකුත් වූ තුන් සරණේ කවි , සිරි පා කරුණාව සමග බැඳී ඇති, ජනශ්‍රැති, විශ්වාස හා සම්ප්‍රදායන් වලින් ඔපවත් වූ ඔවුන් ගේ සැඳැහැවත් බවත්, දැඩි අධිෂ්ඨානයත් කියාපාන කැඩපත් ලෙසටයි දිස්වු‍ණේ. සැබවින්ම අප සියලු දෙනාමත් අත්විඳි පරිදි ම, තුනුරුවන් සහ සමන් දිව්‍යරාජයා කෙරෙහි පවතින ගෞරව සම්ප්‍රයුක්ත භක්තිය, හදවතට ගෙනදෙන ආත්මශක්තිය පුදුම එලවන සුළුයි.


            අවසානයේ, උඩ මළුව වෙත පැමිණි අප සියලු දෙනා, ක්‍රමයෙන් අඳුරු ව පැවති සමනළ කඳු පන්තියට, පැහැය එක් කරමින් උදා වූ ඉර සේවයේ චමත්කාරය අත්විඳිමින් ම, සිත් සේ සිරි පා මළුවත්, ශ්‍රී පාදයත් වන්දනාමාන කරගත් අතර, මීට පෙර කිහිපවරක් ම සිරි පා වන්දනාවේ යෙදී ඇති අපේ කණ්ඩායමේ සොයුරු සොයුරියන්, කිහිපවරක් ම ඝණ්ඨාවට හඬ පෙවූ අයුරු  කිරිකෝඩු වූ අප බලා සිටියේ, නැවත වතාවක දී මේ ගමනට එකතු වී, කෙසේ හෝ ඝණ්ඨාව නාද කිරීමේ මතු බලාපොරොත්තුව සිත් තුළ දරාගෙනයි.



            එලෙසට තෙරුවනින් සහ සමන් දිව්‍යරාජයාගේත් ආශිර්වාදය රැගෙන, ආපසු එන්නට හැටන් මාර්ගය වෙත පිවිසුණේ, මේ ගමනේ අපේ පරමාර්ථය වූ ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීමේ අරමුණින්. ගමන ආරම්භයේදීම, දෑත් වලට අත්වැසුම් ලා ගෙන, අපද්‍රව්‍ය එක්කරන මලු ද අතැතිව ගමන් ගත් අපි, ශ්‍රී පාද අඩවියේ හැටන් මාර්ගය ඔස්සේ තැනින් තැන රැස්ව තිබූ, සිරි පා භුමියේ සුන්දරත්වයටත්, පිවිතුරු බවටත් තර්ජන එල්ල කළ, ජෛවහායනය නොවන ප්ලාස්ට්ක්, පොලිතීන් වැනි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස් කර, ඒවා ක්‍රමවත්ව බැහැරලිමත්, පුළුස්සා දැමීමත් සිදු කරන්නට යෙදුණා. කාර්යභාරය ආරම්භ වී සුළු වේලාවකින්ම, එහි ඇති වටිනාකම අවබෝධ කරගත් අනෙක් බැතිමතුන් පවා, ක්‍රමයෙන් අපේ එම කාර්යයට සහයෝගය දැක්වූයේ, අපේ උත්සාහය අගය කරමින්, අපව තව තවත් දිරිමත් කරමිනුයි. අවසානයේ අතිසාර්ථක ලෙස අරමුණ සාක්ෂාත් කරගත් අප, ගමනාන්තය කරා ළඟා වුයේ, සාර්ථකත්වය සිත් වලට ආරෝපණය කළ ප්‍රමෝදයත්, ආත්මතෘප්තියත් රිසි සේ අත්විඳිමිනුයි. ඒ බව වඩාත්ම ප්‍රකට වූයේ, අපේ සොයුරු සොයුරියන්, ගමන් විඩාව පවා නොතකමින්, ආපසු ගමනේ දී බස් රථය තුළ ගෙවී ගිය හෝරා කිහිපය ගීතවත් කළ ආකාරය දුටු විටයි.



            නව නසරට යහපත් ප්‍රවේශයක් කැඳවා ගෙන එමින්, තාරුණ්‍යය වෙත අරුත්බර ආදර්ශයක් ද ගෙන දුන්, මෙලෙස සාර්ථකව නිමා වූ මෙම ශ්‍රී පාදස්ථානය පිරිසිඳු කිරිමේ ව්‍යාපෘතිය, සංවිධානය කරමින් ශ්‍රී ලංකා තරුණ ජීව වේදීන්ගේ සංගමය සහ Leo – Club of Colombo Knights තරුණ සමාජය එක්ව දැරූ ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසනීයයි. ඒ සඳහා ශ්‍රමය, ශක්තිය, මෙන්ම දිරිය ද ලබාදුන් සොයුරු සොයුරියන් සියලු දෙනාටම, හදපිරි කෘතඥතාවය පළ කර සිටින අතරම, ලබන වසරෙහිදීත්, මෙම සද්කාර්යයට, ඔබ සියලු දෙනාගේත් දායකත්වය ලබා දෙනු ඇතිය යන අපේක්ෂාවෙන් යුතුව මෙසේ සටහන් තබන්නෙමු..!