- Tuesday, September 10, 2013

YBA Cricket Encounter 2013

ශ්‍රී ලංකා තරැණ ජීව වේදින්ගේ සංගමයේ මහා ක්‍රිකට් සංග්‍රාමය
නැවුම් මසක්!, නැවුම් දිනයක්!. 2013 වර්ෂයේ, සැප්තැම්බර් මස 1 වනදා ලෙස, දින දර්ශනයේ සටහන් වූ, ඒ ඉරිදාව, සැබවින්ම නැවුම් දිනයක්. ක්ෂේත්‍ර චාරිකා, පරිසර විද්‍යාත්මක වැඩසටහන්, වැඩමුළු, ප්‍රදර්ශන, ආදී මෙකී නොකී සිය දහසක් සුපුරුදු වැඩ රාජකාරි වලින් මදකට ඈත්වී, ආදී තරැණ ජීව වේදින් මෙන්ම නවක තරැණ ජීව වේදින් හැමදෙනාමත් එකට එක් කළ, පහලොස් වසරක අභිමානවත් මතක සටහන් අතරේ, ඊටම තවත් සුන්දර මතක සටහනක් එක් කරමින් ගෙවී ගිය අපූරු දවසක්.
ඒ තමයි, තරැණ ජීව වේදින්ගේ සංගමයේ, සුහද හමුව, හෙවත් ශ්‍රී ලංකා තරැණ ජීව වේදින්ගේ සංගමයේ මහා ක්‍රිකට් සංග්‍රාමය.විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ අපේම තරැණ ජීව වේදි සොයුරු සොයුරියන්ගේ, ජව සම්පන්න ක්‍රීඩා කෞෂල්‍යය කෙතරම් ද යන්න ප්‍රකට කරන්නට ම වෙන් වූ දිනය.
නියම කරගත් ලෙසම, උදෑසන 9.00 පමණ වන විට, අපේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාම පාහේ, දෙහිවල එස්. දි. එස්. ජයසිංහ ක්‍රීඩාංගනය වෙත ළඟා වී සිටියේ, පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාගේ. උදෑසනින්ම, ක්‍රීඩා පිටිය වසා පැවතුණු වැහි අඳුර, මොහොතින් අපේ සිත් තුළ චකිතයක් ඇති කරමින් සිහින් පොදක් බවට පත් වුනත්, එය සැබවින්ම ආසිරි පතා වැටුණු වැස්සක්ම බව කියාපාමින්, ඇසිල්ලකින් ක්‍රිඩා පිටිය පුරා උණුසුම් හිරු කිරණ පතිත වුණා.
සියල්ලම සූදානම්!, ඉතිරිව තිබුණේ සාමාජික සාමාජිකාවන්, කණ්ඩායම් වලට වෙන් කිරීම පමණයි. වන අලියා, අං කටුස්සා, පෙතියා, වළි කුකුළා, පළා පොළඟා, හා ගල්පර මැඬියා ලෙසින්, අපට සමීප කණ්ඩායම් නාමයන්ගෙන් යුතු කණ්ඩායම් 6ක් අතර සටන ඇරඹුණා.
 


සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 6ක් අතර තරගය ක්‍රියාත්මක වුවත්, ඔවුන් සැමදෙනා කෙරෙන් ම දිස් වූ ක්‍රීඩාශීලීත්වය නම් ඉතාම අපූරුයි. සැබවින්ම සැබෑ ක්‍රීඩා තරු ලෙසටම, ඒ ක්‍රීඩාශීලීත්වය අප වෙත සජීවී ක්‍රිකට් තරගයක අසිරිය සමීප කළා.
තවත් විශේෂත්වයක් වූයේ, මහත්වරුන්ගේ ක්‍රීඩාව නෝනාවරුන්ගේ ආගමනය ගෙනදුන් විනෝදාත්මක අත්දැකීමයි. ක්‍රිකට් ඉතිහාසයේ, වාර්තා අතරට එක්වූ, ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සහ තරග කොන්දේසි පවා අලුතින් ලියැවුණු, ආශ්චර්යමත් ක්‍රිකට් සැණකෙළියක ලකුණු, පිටිය දස දෙසින් කළ එළි දුටු දිනක් වූ එදින, පිටිය තුළ විවිධ වර්ණයන්ගෙන් පැහැසර වු නානාවිධ චරිත ගණනාවක්ම හඳුනාගත හැකි වුණා. පිතිකරණයේ දක්ෂයින්, පන්දු යැවීමේ දක්ෂයින්, පන්දු රැකීමේ දක්ෂයින් මෙන්ම, ක්‍රීඩා පිටිය තුළ වු උද්‍යෝගය, ක්‍රීඩාගාරය වෙත කැඳවා ගෙන ආ, ප්‍රීතිඝෝෂා පැවැත්වීමේ දක්ෂයින් ලෙස, විවිධාකාර වර්ණ රටා.
                                   
වසර ගණනාවකට පසුව, ක්‍රිකට් පිත්තක් අත ගැටුණු බොහෝ දෙනෙකු වගේම, සිය දිවියේ ප්‍රථම වතාවට ක්‍රිකට් පිත්තක්, පන්දුවක් අත ගැටුණු බොහෝ දෙනෙකු ද සහභාගී වී සිටි එම තරගයේ ක්‍රීඩා විලාසය, අතිශයින්ම විනෝදාත්මක ස්වරූපයක් ඉසිලුවා. අත්දැකීම් වලින් සන්නද්ධව මෙන්ම අත්දැකීම් වලින් තොරව වේවා, අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම පිය නැගීමේ තරැණ ජීව වේදින්ගේ මහඟු ගුණය ප්‍රකට කළ අනගි අවස්ථාවක් වූ එය, ජයග්‍රහණය ගෙනෙන අභිමානයත්, පරාජය ගෙනෙන ආත්ම ශක්තියත්, මනා ලෙස ඉස්මතු කළා.


හයේ පහර, හතරේ පහර, උඩ පන්දු, වේග පන්දු, දඟ පන්දු, දැවැන්ත ඉනිම් සේම දැවී යාම්, ආදී සියල්ලම අතරින් දෝලනය වී, අවසානයේ, දැවැන්ත සටනකින් අනතුරුව, අවසන් මහා තරගය වෙනුවෙන්, පිටියට පිවිසීමට වරම් ලැබුවේ, අං කටුස්සා කණ්ඩායම සමඟින්, පෙතියා කණ්ඩායමයි.
එදින තරැණ ජීව වේදින්ගේ ක්‍රිකට් සංග්‍රාමය සිය නිමාව සනිටුහන් කළේ, පෙතියා කණ්ඩායමට, ශූරතාවය හිමි කර දෙමින්. දිනය අවසානයේ, ශ්‍රී ලංකා තරැණ ජීව වේදින්ගේ සංගමයේ අනුශාසකතුමා වන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වව්ද්‍යාලයේ, වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය හිරාන් අමරසේකර ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන්, සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණා.
  
උද්‍යෝගය, උත්සාහය, විනෝදය, ප්‍රබෝදය, හා ප්‍රීතිය අතරින් ගලා ගිය එම ආනන්දනීය ඉසව්ව, හිරාන් අමරසේකර ගුරු පියාණන් විසින් හඳුන්වන්නට යෙදුණේ, “ YBA Premier League” යන නමින්. එතරම්ම උද්‍යෝගයකින්, දිනය පුරා ඔද නැඟුණු, ශ්‍රී ලංකා තරැණ ජීව වේදින්ගේ සංගමයේ මහා ක්‍රිකට් සංග්‍රාමය, සියලු දෙනාගේ සිත් කුල්මත් කරමින්, එලෙස නිමාවට පත්වුණා.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ, ශ්‍රී ලංකා තරැණ ජීව වේදින්ගේ සංගමයේ ජාලය තුළ, මෙම ඉසව්ව ප්‍රකාශයට පත් කළ මොහොතේ පටන්ම, මෙයට සහභාගී වීම සඳහා, සෑම තරැණ ජීව වේදියෙකු තුළම පැවතියේ විස්මයාවහ උද්‍යෝගයක්. වසර පහලොවක් පුරාවට වැඩුණු, තරැණ ජීව වේදින්ගේ සංගමය නමැති දැවැන්ත වෘක්ෂය, ළපටි දළු දමමින්, ක්‍රමයෙන් ලෝකයට මග සොයමින් උන් කාලයේ සිටම, අප සමග රැඳී සිටි, සංගමයේ  ජ්‍යේෂ්ඨතම සාමාජික සාමාජිකාවන් පවා, සිය අතිශය කාර්යබහුල දෛනික ජීවන රටාවට හිමි, එකම විවේකී දිනය වූ ඉරිදාව, මෙම සුහද හමුව සඳහාම කැප කරමින්, අප සමඟ ප්‍රමෝදයෙන් එක්ව සිටි ආකාරය, සැබවින්ම ප්‍රශංසනීයයි.


මේ සියළු වැර වෑයම්, යථාර්ථයක් බවට පත් කිරීමට සෑම තරැණ ජීව වේදියෙකුගේම සහයෝගය සෑම අයුරින්ම දායක වූවාක් මෙන්ම, මෙම සුහද හමුව සංවිධානයෙහි ලා සංවිධායක මණ්ඩලයේ සුවිශේෂී දායකත්වය ද, ස්තූති පූර්වකව සිහිපත් කරන්නේ ඉමහත් සෙනෙහසින්.
                       






                                                                                                                                    --- Kasuni Yapa ----