- Tuesday, October 02, 2012

ශ්‍රී ලංකා තරැණ ජීවවේදීන්ගේ සංගමයේ වාර්ෂික සිංහරාජ චාරිකාව 2012



නිල් අහසටත් කලින් මට එළිය වැටුණේ පාන්දර 3.00 ට විතර. යන්න තියෙන ගමනේ නවමු බව නිසාම වෙන්න ඇති. මම හිතන්නෙ හුඟ දෙනෙකුට එහෙම දැනෙන්න ඇති. මොකද අපි හුඟ දෙනෙක් මේ ගමනට කෝඩුකාරයෝ නිසා. හැබැයි ඉරටත් කලින් කෞතුකාගාරය ළඟට රැස්වුණු අපි, කියපු වෙලාවට පැය බාගයක් පරක්කු වෙලා ආපු බස් එකට ගොඩ වෙද්දි 6.30 විතර ඇති. අනෙක් බස් එක නුගේගොඩින් අපට එකතු වුණා. මහරගමින් ප්‍රසංග අයියලාත්, කොට්ටාවෙන් හිරාන් සර්, පාලින්ද අයියා, ඇතුළු පිරිස එකතු වුණා.  පාලින්ද අයියා හරි දක්ෂයා. එයා කියපු පාරකින් සිංහරාජ යන්න ගිහින් එකම හන්දිය දෙපාරක් පහු කළා.

     ක්‍රමයෙන් සිංහරාජ වන රජ දහනට ළඟා වෙද්දි, හැමදාමත් දූෂ්‍ය වූ, අපවිත්‍ර වූ, ආශ්වාස වාතය පිරි, ගිනියම් වූ කොන්ක්‍රීට් කඳු වලින් නැඟෙන තාපයෙන් දැවෙන නගරයත්, තුරුලතා මතින් නිරන්තරයෙන් හමා යන, සුවඳවත් සිසිල් සුළඟින් මොහොතින් මොහොත නැවුම් වන වාතාශ්‍රය ඇති, මධ්‍යහ්නයේ පවා ගතට සුවදායක ඒ පරිසරයේත්, වෙනසට සංවේදී වූ අපේ නැහැපුඩු, ඒ නැවුම් වාතයේ පහස විඳගත්තේ ඉතා ආසාවෙන්.
      සිංහරාජය වන පෙතට ළඟා වෙනකොට දවල් 1.00 විතර ඇති. දවල් කෑමෙන් පස්සෙ හැමෝම කැලේ ගමන පිටත් වුණා. කණ්ඩායම් දෙකක් නවඳ ගහ ගමන් මගත්, . කණ්ඩායම් දෙකක් මුලාවැල්ල කන්ද  ගමන් මගත් වශයෙන්. අපේ කණ්ඩායමේ ඩිල්ෂාන් අයියා, පාලින්ද අයියා, ඉන්දීවර අයියා, සමීර අයියා, දිස්නා අක්කා ඇතුළු පිරිස.
      සිංහරාජ මාවතේ, අපව මුලින්ම පිළිගත්තේ Frog-mouth owl පොඩිත්තෙක්. ඒ අසලින්ම Bamboo Orchid, Nepenthes, Ferns විශේෂ ආදී ශාක වර්ග කිහිපයක්ම මඟ දෙපස දැකිය හැකි වුණා. සිංහරාජයටම ආවේණික සමහර මීවන ශාක මීටර් 2ක් තරම් උසට පැතිරී ගිය ආකාරය අපේ ඇස ගැසුණා.

      සිංහරාජයේ දැකිය හැකි උරග විශේෂ අතරින් එදා දවසේ අපට මුලින්ම දකින්නට ලැබුණේ පළා පොළඟා, දාර කරවලා, හාල්දණ්ඩා, යන උරගයින්. විශේෂයෙන් එම සතුන්ගේ ආහාර චර්යා, ඉරියව්, සහ සංචරණ රටා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වුණා. වැදගත්ම දේ තමයි මෙම සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන පරිසර වලදීම ඔවුන්ගේ චර්යා රටා නිරීක්ෂණය කළ හැකි වීම. පරිසර විද්‍යාත්මක අධ්‍යයනයන්ට නම් සිංහරාජය තෝතැන්නක්.

     අපෘෂ්ඨවංශි සතුන් අතරින් ප්‍රධාන වශයෙන්ම Dragonfly විශේෂ සහ දීප්තිමත් නිල් පැහැ පියාපත් සහිත Blue oak leaf, හා Common Bird-wing, යන සමනළ විශේෂ අපට හමුවුණා. ඒවගේම අපිත් එක්ක සිංහරාජ ගමනේ තනිනොතනියට කූඩැල්ලන්ද එකතු වෙන්න අමතක කළේ නැහැ.
    මග දිගටම තිබුණේ පහසු ගමන් මගක් නොවුණත් සිංහරාජ වන පියසේ ගලා යන සිසිල් පිවිතුරු දිය දහරක පහසින් ගමනෙ කටුක වෙහෙස නිවී ගියා. ඒ දිය දහරේ රැදී තිබුණු වන පියසේ ජීවය අපි තුළටම කිමිදුණා වගෙයි දැණුණේ.
       එකදිගටම එකවගේ පැතිරිලා තියෙන සිංහරාජ තුරු වියනේ, යන්තමින් මග හොයාගෙන, කෙසේ හෝ ගැඹුරු වන ගැබ තුළට පෙරී ආ හුදකලා හිරු කිරණ එක දෙක  එහි සිතුවම් කළේ චමත්කාරජනක අපූර්ව දර්ශනයක්.
තවත් ටික දුරක් යද්දී කෙනෙකුට පහසුවෙන් අත්විඳීමට නොලැබෙන, සුන්දර අත්දැකීමක් විඳගන්න අපි වාසනාවන්ත වුණා. ඒ එක පොකුරට උන් පක්ෂි විශේෂ රැසක් දකින්න ලැබීම. Red-faced Malkoha, Malabar Trogon, Orange-billed Babbler, Brown-capped Babbler වගේ අපූරු පක්ෂීන්.

පක්ෂීන් හැමදෙනාම නොයෙක් කාර්යයන් වල නිරතව සිටියත් අපව ඇස ගැසුණු වහාම යුහුසුළුව සැඟවෙන්නට තැත් කළා. නමුත් සුළු මොහොතකින් සෙවනැලි වගින් මෑත් වී, අප ඉදිරියේ මහා ආඩම්බරයකින් වගේ රැඟුම් පෑවේ, අප ඔවුන්ගේ සුන්දරත්වය නරඹන බව හැඟී ගිය නිසාවෙන් වාගේ.


                                                                                                   ---- කසුනි ----